Saturday, December 25, 2010

සැපවත් ජීවිතයක් සහිතව වාසය කරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නෙ තෙරුවන් කෙරෙහි ප්‍රසාදයක් ඇතිකරගත්තු කෙනාට සැපවත් ජීවිතයක් ඇතිකරගන්න පුලුවන් කියල.


නමුත් තෙරුවන් කෙරෙහි ප්‍රසාදයක් ඇතිකර ගන්න පුලුවන්කම ලැබෙන්නෙ නෑ සිතේ අපිරිසිදු භාවය තිබෙනතාක්. තෙරුවන් කෙරෙහි නෙ‍ාසෙල්වෙන විධිහෙ ප්‍රසාධයක් ඇතිකරගන්න හැකිවන්නෙ සිතේ පිරිසිදුභාවය ඇතිකර ගත්තොත්.


ඒ විධියට සිතේ පිරිසිදු භාවය ඇතිකර ගත්තු කෙනා මහත් වූ සැපතකට උරුමකම් කියන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඒ සිතේ පිරිසිදු බව උපදවා ගන්නයි මහන්සි විය යුත්තෙ.


සිතේ පිරිසිදු භාවය උපදවා ගත්තොත් කාටත් අවස්ථාවක් තියෙනවා තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇතිකර ගන්න. තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇතිකර ගත්ත කෙනා සිතින් දුක් විඳින්නෙ නෑ. එයා සිතින් අප්‍රමාණ සැප විඳින්න පුලුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ වාගේම එයාට පුලුවන් කයෙනුත් සැප විඳින්න පුලුවන් කෙනෙක් බවට පත් වෙන්න.


මේ විධිය‍ට මේ ජීවිතය සැපසේ ගතකරන්න පුලුවන් කෙනාට ඊළඟ ජීවිතය සැප සහිත තැනක උපදින්න එය‍ාට පුලුවන්කම තියෙනවා. ඒ විධියට එයා සැපවත් ජීවිතයක් ඇතිකරගත්තොත් එයාට දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කරල පරිපූර්ණ වූ සැපත අත්කරගන්න පුලුවන්කම තියෙනවා. 
එතකොට අපිට ඒ විධියට නැවත දුකට පත්වෙන්නෙ නැති විධියට සැප කරාම යෑම පිණිස උවමනා කරන මූලිකම දේ කුමක්ද තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇතිකර ගැනීම. තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් ඇතිකර ගත්තොත් අපි ආයෙත් දුකට වැටෙන්නෙ නෑ.  පරිපූර්ණ සැප දක්වාම අපේ ජීවිතේ දියුණු කරගන්න අපිට පුලුවන්කමක් තිබෙනවා.




එතකොට තෙරුවන් කෙරෙහි නෙ‍ාසෙල්වෙන ප්‍රසාධය උපදවා ගැනීම ලෙහෙසි දෙයක් නෙවෙයි. ඉතාම අමාරු දෙයක්.  එය මේ ලෝකයේ තියෙන අමාරුම කටයුත්ත.


මොකද්ද ඒකට තියෙන අමාරුව බාධාව සිතේ තිබෙන අපිරිසිදු ස්වභාවය. සිතේ අපිරිසිදු ස්වභාවය තියෙනතාක් තෙරුවන් කෙරෙහි හොඳ පැහැදීමක් උපදවා ගන්න එයාට ලැබෙන්නෙ නෑ. එතකොට සිතේ අපිරිසිදු ස්වභාවය බැහැර කර ගත්තොත් දුරු කර ගත්තොත් සිත පිරිසිදු දෙයක් බවට පත්කර ගත්තොත් එයාට තෙරුවන් කෙරෙහි අචලප්‍රසාධය ඇතිකරගන්න පුලුවන්. නොසෙල්වෙන ප්‍රසාධය ඇත්කර ගන්න පුලුවන්.


ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ කියාදීපු විධියට මේ දහම මේ විධියට ඉගෙන ගන්න ඕන. මේ විධියටම පිළි ගන්න ඕන.


පිළිනොගත්තොත් අපි හිතේ කිළිටි තියෙද්දීම අපි හිතනවා මට පැහැදීම තියෙනවා කියල.  මං ප්‍රසාදයෙන් ඉන්නෙ කියල හිතෙනවා. එතකොට අපි ඒ සැබෑ ප්‍රසාදය උපදවාගෙනද නෑ.
සමහරවිට අපට ධර්මය මතක තියෙන්න පුළුවන්. බුදුගුණ මතක තියෙන්න පුලුවන්. දහම් ගුණ, සඟ ගුණ මතක තියෙන්න පුලුවන්. තව කෙනෙකුට කියල දෙන්නත් පුලුවන්කම තියෙන්න පුලුවන්. කෙනෙක් එක්ක කතා කළොත් අපට ධර්මය කතාකරන්න පුලුවන්කම තිබෙන්නත් පුලුවන්. නමුත් අපට එපමණකින්ම තෙරුවන් කෙරෙහි අචලප්‍රසාදය ඇතිකර ගත්තා කියල කියන කාරණය සිද්ධ වෙ‍න්නෙ නෑ.
තෙරුවන් කෙරෙහි අචලප්‍රසාදය උපදවා ගැනීම පිණිස තිබිය යුතු මූලික සුදුසුකම කුමක්ද? සිත පිරිසිදු කර ගැනීම. සිත පිරිසිදු කර ගැනීමෙන් තමයි ඒ නොසෙල්වෙන ප්‍රසාදය තෙරුවන් කෙරෙහි උපදවා ගන්න පුලුවන් වෙන්නෙ.


මේක අපි හොඳින්ම තේරුම්ගත යුතුයි. එහෙම නැත්නම් අපි ධර්මය ඉගෙන ගත්තහම ධර්මය කතා කරනකොට අපේ හිත අපිම මුලා කරල දානවා. ඇයි ඒ වෙන්නෙ. මේ හිතේ තියෙන අපිරිසිදු ගති ස්වභාවයක් තමයි අපිව මුලා කරල දාන එක. එතකොට කවදාවත් අපිට සැබෑ සැපක් කරා යන්න බැරිවෙනවා.
අපි මුලා වෙනවා. එනිසා හොඳට අපි තේරුම් ගන්න ඕනෑ සිතේ කිලිටි ස්වභාවය ගැන අපිට හොඳ වැටහීමක් තියෙන්න ඕන. සිත කිලුටු වෙන්නේ මෙ‍ානවායින්ද කියල හොඳ වැටහීමක් අපිට තියෙන්න ඕන.
ඊළඟට ඒ සිත කිළිටි වෙන දේවල් තමන්ගේ ළඟ තියෙනවා කියල අපිට වැටහීමක් තියෙන්න ඕන.
ඊළඟට ඒ සිත කිළිටි කරන අකුසලයන් තමා හොඳින් තේරුම් අරගෙන ඒ අකුසලයන්ගේ ස්වභාවය හොඳින් තේරුම් ගන්න ඕන. ඒ අකුසලයන් අවබෝධ කරගෙන ඒවා බැහැර කරගන්න ඕන.


ඊළඟට අපි තේරුම් ගන්නට ඕන මා තුල ඒ අකුසලයන් කලින් තිබුණා. මා ඒ අකුසලයන් අවබෝධ කර ගත්තා. මා ඒ අකුසලයන් බැහැර කරන්න කටයුතු කලා. දැන් මගේ හිතේ ඒ අකුසලයන් බැහැර වෙලා කියල වැටහීමට අපි එන්න ඕන.


මෙන්න මේ ධර්මයන් අපි ඉගෙන ගෙන ඒ ධර්මයට අනුව අපි කටයුතු කළොත් ඒ ධර්මය පුරුදු කර ගත්තොත් කාටත් වාසනාව ඉපදෙනවා මේ සිත කිලිටි කරන අකුසලයන් බැහැර කරල නිරුද්ධ කරගෙන ඉතාම පිරිසිදු සිතක් උපදවාගෙන සැපවත් වූ ජීවිතයක් උපදවාගන්න අපිට පුලුවන්කම ලැබෙනවා.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!




උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment