Saturday, December 11, 2010

සුවපත් හිතක් ඇතිකරගනිමු

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අපේ හිත පිරිසිඳූ කරගන්නවා කියන කාරණාව අපිටම පැවරිලා තියෙන ඉතාම දුෂ්කර කටයුත්තක්. ඒ දුෂ්කර කටයුත්ත අපි ඉක්මණින් ආරම්භ කරන්ට ඕනැ. ඒ නිසා අප්‍රමාදී බව උපදවගන්න. ඒ ගිහි සම්භාධක මැද වාසය කරද්දී ධර්මය හුරු කිරීම දුෂ්කරයි. නමුත් අපි අන් අයගේ ගුණ කල්පනා කරන්න පුරුදුවුනොත්, අපිට ඒ ගුණ කල්පනා කිරීම මගින්ම හිත පිරිසිඳූ කරගන්න පුළුවන්කම තියෙනව.


බුදුරජාණන් වහන්සේගේ ගුණ තමයි ලෝකයේ පුද්ගලයෙකුගේ ගුණ අතරින් අග්‍ර බවට පත්වෙන්නෙ. එතකොට අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ කල්පනා කළොත්, ඒ ගුණ කල්පනා කිරීමෙන්ම අපේ හිතේ රාග, ද්වේෂ, මෝහ දුරුවෙනව නේද? දුරුවෙනව. එතකොට බලන්න ගුණ කල්පනා කිරීම කියන එක කොයිතරම් මහත් ඵල සහිත දෙයක්ද කියල.


අපි එදිනෙදා අපි ඇසුරුකරන අයගේ ගුණ කල්පනා කිරීමට පුරුදුවෙන්න ඕනැ. දැන් දෙමව්පියන්ගේ, ඥාති මිතුරන්ගේ ගුණ කල්පනා කරන්න දක්ෂ වෙන කෙනාට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරගන්ට පුළුවන්කම තියෙනව. බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනව, යම් කෙනෙක් තමන්ගේ මව කෙරෙහි වරදවා පිළිපැද්දොත්, අන්න එයා බොහෝ පව් රැස්කරගන්නව, අකුසල් රැස්කරනව.


ඒ වගේම යමේක් තමාගේ පියා කෙරෙහි වරදවා පිළිපැද්දොත් අන්න එයා බොහෝ පව් රැස්කරගන්නව, අකුසල් රැස්කරගන්නව. ඊලඟට යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි වරදවා පිළිපැද්දොත්, එයා බොහෝ පව් රැස්කරගන්නව, අකුසල් රැස්කරගන්නව. ඊළඟට යම් කෙනෙක් ආර්ය මහා සංඝරත්නය කෙරෙහි වරදවා පිළිපැද්දොත්, එයා බොහෝ පව් රැස්කරගන්ව, අකුසල් රැස්කරගන්නව කියල.


ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව යම් කෙනෙක් තමන්ගේ මව කෙරෙහි යහපත් විදිහට පිළිපදිනව නම් එයා බොහෝ පින් රැස්කරගන්නව. තමන්ගේ පියා ගැන යහපත් විදිහට පිළිපදිනව නම් එයා බොහෝ පින් රැ ස්කරගන්නව, කුසල් රැස්කරගන්නව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි යහපත් විදිහට පිළිපදිනව නම් එයා බොහෝ පින් රැස්කරගන්නව, කුසල් රැස්කරගන්නව.


ආර්ය මහා සංඝරත්නය කෙරෙහි යහපත් විදිහට පිළිපදිනව නම් එයා බොහෝ පින් රැස්කරගන්නව, කුසල් රැස්කරගන්නවා කියල භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව.


එතකොට කල්පනා කරල බලන්න තමන්ගේ මව ගැන අහිතවත් විදිහට අයහපත් විදිහට කල්පනා කළොත්, එයාට පියා කෙරෙහි යහපත් විදිහට පිළිපදින්න පුළුවන් වෙයිද? මව පියා කෙරෙහි යහපත් විදිහට පිළිපදින්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි යහපත් විදිහට පිළිපදින්න පුළුවන් වෙයිද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි යහපත් විදිහට පිළිපදින්නෙ නැත්නම්, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි යහපත් විදිහට පිළිපදියිද? පිළිපදින්න බෑ.


එතකොට බලන්න ගෙදරදොරේ වාසය කරමින් ම මේ ධර්මය පුරුදුකරන අවස්ථාව අපිට පෑදෙනව නේද? ඇයි තමාගේ මව කෙරෙහීම යහපත් විදිහට පිළිපදින්න අපි පුරුදුවුණොත් එයාට එයාගේ පියා කෙරෙහි යහපත් විදිහට පිළිපදින්නත් පුළුවන්කම තියෙනව. අන්න එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකරගන්න පුළුවන්කම තියෙනව.


එයාගේ මව කෙරෙහිත්, පියා කෙරෙහිත්, බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් හිත පහදවගෙන, යහපත් විදිහට පිළිපදිනව නම්, අන්න එයාට ආර්ය මහා සංඝරත්නය කෙරෙහිත් යහපත් විදිහට පිළිපදින්න පුළුවන්කම තියෙනව.


අන්න එයාට කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබෙනව. එයාට සද්ධර්මය ලැබෙනව. අන්න එයාටයි යෝනිසෝ මනසිකාරය උපදවගන්න පුළුවන්කම තිබෙන්නෙ.


එතකොට බලන්න තමන්ගෙ මව කෙරෙහි, තමන්ගෙ පියා කෙරෙහි යහපත් විදිහට කල්පනා කරන්න පුරුදුවීම ම, නිවන් මග පාදගන්න උදව්වන තැනක් නේද? ඒ නිසා ගෙදර දොරේ ඉඳල ම මේ ධර්මය පුරුදුකරන්න ඔබ පුරුදුවෙන්න ඕනැ.


ගෙදරදොරේ ඉඳල ම මේක කරන්න පුළුවන් එකක්. නමුත් අපිට ඇතිවන අසීරු කරුණ තමයි ඒ ගුණ කල්පනා කිරීම අමාරු දෙයක්. ඒකට හිත ඉඩදෙන්නෙ නෑ ලේසියෙන්. මේ හිත පාලනය කරගන්න අමාරුයි.
අපිට මැවි මැවී පේන්නෙ ම අගුණය. ඒකට ඉඩදෙන්න එපා. හොඳට සිහිකල්පනාව උපදවගන්න. හොඳට සිහිනුවණ උපදවගන්න. මේකෙන් තියෙන අනතුර තේරුම්ගන්න. ඒක නොකල යුතු දෙයක් විදිහට තේරුම් අරගෙන, ඒ අගුණ කල්පනා කිරීම අතහැරල, ගුණ කල්පනා කරන්න පුරුදුවෙන්න. ඒකාන්ත වශයෙන් එයා දියුණුවෙනවාම යි.


තිබෙන ගුණය කල්පනා කල යුතුයි. ගුණයක් නැත්නම් කරන්නෙ මොකක්ද? අනුකම්පාව උපදවාගැනීම කලයුතුයි. ඉතින් මේක කරන්න පුළුවන්දෙයක්, උත්සාහ කරන්න. එතකොට ඔබට ඔබේ හිත ආරක්ෂාකරගෙන, යහපත් හිතක් උපදවගෙන, මේ ධර්මයෙන් නියත වශයෙන් පිහිට ලබන්ට පුළුවන්කම තිබෙනව.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : අමා දම් විල 
http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment