Saturday, December 25, 2010

සිත සනසන ප්‍රිය වචන

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පිරිස එක්ක කටයුතු කරනකොට ප්‍රිය වචන පාවිච්චි කරන්ට. වචනය ම`ගින් තව කෙනෙකුගේ හිතට අපහසුවක් ඇතිනොවෙන වචන තමයි ප්‍රිය වචන කියල කියන්නෙ. එතකොට ඒ වචනය හසුරුවන ස්වභාවය, උච්ඡාරණය කරන ස්වභාවය ඒ හැම දෙයක්ම බලපානව තව කෙනෙකුගේ හිතට ප්‍රිය බව උපදවන්ට හෝ අපහසුව උපදවන්ට.


එක ම වචනය විවිධ කෙනෙකුට විහි`ඵ කරල එහෙම නැත්නම් හාස්‍ය විදිහට කෙනෙක්ව හෑල්ලු කරන්ට වචන පාවිච්චි කරන්ට පුළුවන්. ඒ විදිහට අපි කෙනෙක්ව පීඩාවට පත්වෙන විදිහට වචන පාවිච්චි කරන්ට හොඳ නෑ.


ඊළඟට විශේෂයෙන් මතකතියාගන්න නියෝග ස්වභාවයේ වචන පාවිච්චි කරන්ට එපා. "අරක කරන්ට, මේක කරන්ට".... ඒ වගේ නියෝග ස්වභාවයේ වචන යම් කටයුත්තක් සඳහා අන් අයට කරුණු ඉදිරිපත් කරනවනම් නියෝග කරන ස්වභාවය වෙනුවට යෝජනා කරන්න. "අපි මෙහෙම කරමුද? එහෙම කළොත් හොඳයි නේද?"... මෘදුයි, ලස්සනයි ඒ වචන. "අරක කරන්න"... කියන්න එපා.


" අරක කරමුද?"... කියල අහන්න. ඊළඟට "කළ යුතුයි"... කියන්න එපා. කළොත් හොඳයි නේද? කියල කියන්න. බලන්න ඒ ප්‍රකාශයන් දෙකෙන් එකක් රළුයි නේද? "කළ යුතුයි"... කියල කිව්වොත් රළු ගතියක් තියෙනව. "මේක කළොත් හොඳයි"... කියල කිව්වොත් මෘදු ගතියක් තියෙනව. "මේක කරන්ට"... කියනව. ඒක රළුයි. "අපි මේක කරමුද?"... එහෙනම් පිරිසේ යහපත කල්පනා කරන අය විදිහට, පිරිස සමඟ ප්‍රියශීලීව වාසයකරන්ට කැමති අය විදිහට එකිනෙකාට ප්‍රිය උපදවන විදිහට ඒ වචන හසුරුවන්න පුරුදුවෙන්ට.
ඒක පුරුදුවෙන්ට හොඳ ම විදිහ තමයි රළු වචනයක් මා උදෙසා ලැබුණොත් මට මොකද වෙන්නෙ කියල කල්පනා කරන්ට. තව කෙනෙක් රළු ස්වභාවයේ වචනයකින් තමා ව ආමන්ත්‍රණය කළොත් එකට මම කැමතීද? කියල බලන්ට. වෙනත් කෙනෙක් රළු වචනයකින් මා ආමන්ත්‍රණය කරනකොට ඒකෙන් මට පීඩාවක්නම් එන්නෙ, මට ඒ්ක අපහසුයි නම්, අන් අයත් ඒකට කැමති නෑ කියල තේරුම්ගන්ට.
එහෙනම් දිවිහිමියෙන් ම මම රළු වචන පාවිච්චි නොකල යුතුයි කියල කල්පනා කරන්ට. එහෙමයි පුරුදුවෙන්නෙ. එතකොට එකිනෙකා මිහිරි වචන, ප්‍රිය වචන, රළු නොවන වචන කතාකරන්ට පුරුදුවෙනව. ඒ විදිහෙ රළු නොවන, ප්‍රියශීලී, මිහිරි වචන කතාකරන පරිසරය සුන්දරයි. හරි ලස්සනයි. ඒ අය තුළ රළු ස්වභාවය නෑ. ඉතා ප්‍රියව වාසය කරන්න පුළුවන්. දුටුවන් එකිනෙකා ප්‍රියව ඇසුරුකරනව.


දුටුඅය පහදිනව. ඒ නිසා හොඳට මතක තියාගන්න විශේෂයෙන් නියෝග කිරීම් කරන්න එපා. අපි ටික කලයි මේ ලෝකෙ ඉන්නෙ. මොකටද අපි නියෝග කරන්නෙ. අපි මේ ලෝකෙ ගොඩාක් දේ දන්න අය නෙවෙයි. අපි මේ අනුන්ගෙ උපකාරයෙන් පුංචි දෙයක් දැනගෙන ඉන්න අය. නියෝග කිරීම අපිට ගැලපෙන් නෑ. එනිසා කව්රුත්, කාටත් පි‍්‍රය උපදවන මිහිරි වචන, ප්‍රිය වචන පාවිච්චි කරන්ට. එතකොට කාටත් ලොකු ජයග්‍රහණයක් ඇතිකරගන්ට පුළුවන් වෙයි.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!


No comments:

Post a Comment