Saturday, December 25, 2010

හඬන වැළපෙන ලෝකයෙන් නිදහස්වෙමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පින්වතුනි පරම සත්‍යය අවබෝධ කරන කෙනාට, අසත්‍ය බැහැර කරගන්ට පුළුවන්. අසත්‍ය බැහැර කරගන්න කෙනාට, අසත්‍යය මත පිහිටා සිටීමෙන් ඉපදෙන දේවල් බැහැරකරගන්න පුළුවන්කම තියෙනව.
අසත්‍යය මත පිහිටා ඉන්න කෙනාට මොකක්ද සිද්ධ වෙන්නෙ? එයාට අනතුරු බහුලයි, උපද්‍රව බහුලයි. එතකොට අසත්‍යය බැහැර කල කෙනාට අනතුරු බැහැරවෙනව.


අනතුරු බැහැරවෙන කෙනාට ලැබෙන ලාභය මොකක්ද? එයා නිරුපද්‍රිතයි ආරක්ෂිතයි. එයා රැ කවරණයක් තුළ ඉන්නව. ආරක්ෂාවක් තුළ ඉන්නව.


ආරක්ෂාවක් තුළ නැතිකෙනා අනාරක්ෂිතයි, අනතුරු සහිතයි. අනතුරු සහිත කෙනාට මොනවද ලැබෙන්නෙ? අනතුරු සහිතව ඉන්න කෙනාට ලැබෙන දේ තමයි අඬන එක, වැළපෙන එක, සෝක කරන එක, තැති ගන්න එක, භය. එතකොට අනතුරින් නිදහස්වෙන කෙනා ආරක්ෂිතයි. ආරක්ෂාවක් තුළ ඉන්න කෙනා තුළ භය, සැක, අඬන, වැළපෙන, සෝක කරන ගතිය, සුසුම් හෙළන ස්වභාවය නෑ.


එයාට පුළුවන්කම තියෙනවා සැනසිල්ල උදාකරගෙන පරම ශාන්තියට පත්වෙන්ට. හොඳට කල්පනා කරල බලන්න, අඬන, වැළපෙන, සෝක කරන, සුසුම් හෙළන, කලන්තෙ දාන ගතියෙන් යුක්තවෙන එකද හොඳ ?, අඬන වැළපෙන ස්වභාවය දුරුකරල, ආයෙ හටගන්න බැරි විදිහට නිරුද්ධ කරල සෝක නොකරන ස්වභාවයෙන් වාසය කිරීමද හොඳ? නුවණ තියෙන ඕනෑම කෙනෙක්, ලොකු-කුඩා වේවා, උගත්-නූගත් වේවා, ධනවත්-දුප්පත් වේවා, බලයක් තියෙන වේවා-බලයක් නැති හෝ වේවා කුමන තරාතිරමක කෙනෙක්ගෙන් වේවා, ඇහුවොත් කොයි විදිහට ජීවත්වෙන්ටද කැමති කියල, එයා කැමති වෙන්නෙ නෑ අඬ අඬා, සෝක කර කර ඉන්න ක්‍රමයට.


එයා කැමතිවෙන්නෙ, අඬන- වැළපෙන, සෝක කරන ස්වභාවය නිරුද්ධවෙලා ගියපු ශාන්ත සුවපත් ජීවිතයකට. ඒ ශාන්ත ස්වභාවය, සුවපත් ජීවිතය උපදවගන්න නම් අපි තුළ මොකක්ද ඇතිවෙන්න ඕනැ. ඒ අනතුරු ස්වභාවයෙන් නිදහස්වෙන්ට නම්, අසත්‍යය බැහැරවෙන්න ඕනැ. අසත්‍යය බැහැරවෙන්නෙ සත්‍යය අවබෝධකරීමෙන්.


සත්‍යය අවබොධවෙන්නෙ කොහොම කෙනාටද? තෙරුවන්ගේ ගුණ දැනගෙන, ඒ තෙරුවන්ගේ ගුණ හොඳින් හඳූනාගෙන, තෙරුවන් කෙරෙහි පැහැදීම උපදවගන්න කෙනාට. ඒ නිසා අපි කව්රුත් තෙරුවන් ගුණ ඉගෙනගෙන, මේ ජීවිතය පෝෂණය කරගන්න, දියුණු කරගන්ට උත්සාහවත් වෙන්නට ඕනැ.
එහෙම නැත්නම් ඒ සඳහා වුවමනාව ඇති අය බවට පත්වෙන්න දක්ෂකම ඇතිකරගන්න ඕනැ. ඒ විදිහට අපි තෙරුවන් ගුණ ඉගෙන ගතAතොත් අපිට ලැබෙන ලාභය මොකක්ද? සත්‍යය අවබෝධකරන්න පුළුවන්කමක් තියෙනව. මොකකද අපි අවබෝධ කරගන්න පරම සත්‍යය? කුමක් ගැනද ඒ පරම සත්‍යය? ජීවිතය ගැන.
අපේ ජීවිතය ගැන ඇත්ත ඉගෙන ගන්න ඕනැ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න කෙනාට, ඒ ධර්මය ගැන දැනගන්න කෙනාට, සංඝ රත්නය ගැන දැනගන්න කෙනාට, ඒ තෙරුවන් කෙරෙහි පැහැදීම ඇතිකරගන්න කෙනාට පුළුවන්කමක් ලැබෙනව, තමාගේ ජීවිතයේ පරම සත්‍යය ඉගෙනගෙන, ඒ සත්‍යය අවබෝධකරගන්න.


අන්න එයාට මෙතෙක් හිතපු අසත්‍යය බැහැරකරල, ඒ දුක් දොම්නස් විඳින ස්වභාවය නිරුද්ධ කරල පරම සුවයට පත්වෙන් පුළුවන්කමක් තියෙනව. ඒ නිසා අපි මේ ලැබුණු දුර්ලභ ලාභය අත්කරගන්න කැමතිවෙන්න ඕනැ. එසේ කැමතිවෙන කෙනා තෙරුවන් ගුණ ඉගෙනගන්නව. තෙරුවන් ගුණ ඉගෙනගෙන, ඒ තෙරුවන් ගැන හොඳින් පැහැදීම ඇතිකරගන්නව.


යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙනගෙන, ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ කෙරෙහි පැහැදීමක් ඇතිකරගත්තොත්, එයාගේ හිතේ ප්‍රබෝධයක් ඇතිවෙනව, ඇතිවෙනව. ඒක ධර්මතාවයක්. අන්න ඒ විදිහට බුදුගුණ කෙරෙහි පැහැදෙන කෙනා කැමතිවෙනවා, ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඉගෙනගන්න.


ඒ ධර්මය ඉගෙනගන්න කොට එයාට ඒ ධර්මයේ ගුණත් තේරුම්ගන්න ලැබෙනව. අන්න ඒ විදිහට ධර්මයේ ගුණ ඉගෙන ගන්නකොට එයා ධර්මයටත් පහදිනව. එතකොට එයා කැමතිවෙනව ආර්ය මහා සංඝරත්නය ඇසුරුකරන්න. එතකොට එයා අර්ය මහා සංඝර ත්නය ඇසුරුකරන්නෙ, ගුණ දැනගෙන පැහැදීමෙන්.
එතකොට එයාට බුදුරජාණන් වහන්සේ් කෙරෙහි පැහැදීමක් තියෙනව. ධර්ම රත්නය කෙරෙහි පැහැදීමක් තියෙනව, සංඝ රත්නය කෙරෙහි පැහැදීමක් තියෙනව. එයාගෙ සිත තෙරුවන් කෙරෙහි පිහිටා සිටිනව. අන්න ඒ විදිහට තෙරුවන් කෙරෙහි පිහිටා සිටින කෙනාට, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ පරම සත්‍යය අවබෝධකරන්ට දුර්ලභ ලාභය ලැබෙනව.


හිතේ නැවුම් බවක් ඇතිවෙනව, හිතේ අපහසුකම් තිබ්බොත් දුරුවෙලා සුවපහසුවක් ඒ නිසා අපි කවුරුත්, මේ ලැබුණ මනුෂ්‍ය ජීවිතය වාසනාවෙන් පුරුවගන්න නම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි පැහැදීම ඇතිකරගන්න ඕනැ.


අන්න එසේ පැහැදීම ඇතිකරගත්තොත්, අපිට අපේ ජීවිතය ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ ඒ පරම සත්‍යය අවබෝධ කරන්න පුළුවන්කම තියෙනව.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!




උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment