Sunday, December 12, 2010

විශ්මිත වූ අවබෝධය අදහාගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අපි හැකිතාක් ඉක්මණින් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්න දක්ෂ වෙන්ට ඕනැ. ශ්‍රද්ධාව උපදවගන්න දක්ෂවෙන්ට ඕනැ. භාග්‍යවතුන් වහන්සේ නියපොත්ත මතට පස් ස්වල්පයක් අරගෙන, භික්ෂූන් වහනසේලාට ඒක පෙන්නල මේ විදිහට අසා සිටිය, "ඔබ මොකද මේ ගැන හිතන්නෙ, මේ නිය සිල මත තියෙන පස් ස්වල්පයද වැඩි, මේ මහ පොළවෙ තියෙන පස්ද වැඩි?" කියල.


ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කලා, " භාග්‍යවතුන් වහන්සේගේ නිය සිල මත තිබෙන්නේ පස් ඉතා ම ස්වල්පයයි. මහ පොළවෙ තියෙන පස් තමයි විශාල" කියල. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, "පින්වත් මහණෙනි, මේ නිය සිල මත තිබෙන පස් ඉතා ස්වල්පයයි, මහ පොළවෙ පස් විශාලයි.
ප්‍රමාණ කරන්ට බෑ. උපමාවකින් දක්වන්න බෑ. සසඳන්න පුළුවන්කමක් නෑ.


පින්වත් මහණෙනි, ඒ වගේම තමයි මේ මිනිස් ලෝකෙ උපදින යම් සත්වයො ඉන්නව නම්, මේ නිය සිලේ පස් වගේ ඉතා ස්වල්පයයි. මේ මහ පොළවෙ පස් වගේ විශාල ප්‍රමාණයක් සත්වයින් සතර අපායේ උපදිනවා කියලා දේශනා කලා.


භාග්‍යවතුන් වහන්සේ අපිට එසේ කියා දෙන්නේ කුමන අවබෝධයක් සහිතවද? පරිපූර්ණ වූ අවබෝධයක් ඇතිවමයි. සත්ව විෂය ගැන, ලෝකය පිළිබඳව පරිපූර්ණ වූ අවබෝධයක් සහිතව තමයි අපිට ඒ ආකාරයෙන් කියා දෙන්නේ.


එතකොට අපි අන්න ඒ භාග්‍යවතුන් වහනසේගේ අවබෝධය අදහාගත්තොත්, අපි හිතේ දරාගත්තොත් එපමණකින් ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ විශ්මිත අවබෝධය අපි දරාගත්තා වෙනව නේද? ඒ භාග්‍යවතුන් වහනසේගේ මහා ප්‍රඥාව අපි දරාගත්තෙ නැත්නම්, මේක සාමාන්‍ය කතන්දරයක් විතරයි අපිට.
මේ කෙටි දේශනාවකින් පෙන්වන්නේ මේ ලෝකය පිළිබඳව විශ්මිත කාරණයක්. අතිශයින් ගැUුරු, කිසි කෙනෙකුට හොයාගන්න බැරි, කිසි කෙනෙකුට හොයා ගන්න බැරි කාරණයක් පෙන්වා දෙනව. ඒ වගේම මේ ලෝකයේ සත්වයාට මූණ දෙන්ට සිද්ධවෙන අතිශයින් දුක් සහිත බිහිසුණු සිද්ධියක් තමයි පෙන්වා දෙන්නෙ.


මේ දේ නොදත් නිසා මයි මනුෂ්‍යයා මේ දුක් සහිත ඉරණමට පාත්‍ර වෙන්නෙ. මේ දේ යම් කෙනෙක් දන්නව නම්, මේ වැටහීම යම් කෙනෙකුට තියෙනවා නම්, එයා මේ දුක් සහිත ඉරණමට ගොදුරු වෙයිද? දැන් යම් කෙනෙක් දන්නව නම් මේ කරණාව, එයා මේ ලෝකය පිළිබඳව අතිශය විස්මිත වූ නුවණක් සහිත කෙනෙක් නේද? සමාන්‍යය ලෝකයාගේ දැනුමට සසඳන්න තියා ප්‍රමාණ කරන්න බැරි දැනුමකින් යුක්තයි නේද? ඒ දැනුම පුළුවන්ද පොතකින් බලල කටපාඩමින් ගන්න.


ඒ දැනුම අපිට පොතකින් බලල කටපාඩමින් ගන්න අපිට බෑ. ඒ දැනුම අපි කොහොමද ගන්නෙ? මේ කරුණ සම්බන්ධයෙන් අපිට වැටහීමක් දැනුමක් නොතිබුණොත් අන්න එයා මේ දුක් සහිත ඉරණමෙන් බේරෙයිද? බේරෙන්නේ නෑ. යම් කෙනෙක් මේ පණිවුඩය හොඳින් දැනගත්තොත්, මේ කාරණය ඉගෙන ගත්තොත්, මේ නමුත් මේ ලෝකය පිළිබඳව සම්බන්ධ වැටහීමක් තිබුණොත් නේද එයා මේකෙන් නිදහස්වෙන්නෙ.
එහෙනම් කොහොමද අපි ඒ දැනුම ඇතිකරගන්නෙ? ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන්ම යි. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අදහාගත්තොත් එපමණකින් ම අපේ දැනුම පුළුල් වෙනව.


මේ ලෝක විෂය පිළිබඳව අපි නොදත් දෙයක් දැනගත්ත වෙනව. සත්ව විෂය පිළිබඳව අපි නොදත් දෙයක් දැනගත්ත වෙනව. එසේ අපිට දැනගන්න පුළුවන් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගැනීමෙන්.


ඒ විදිහට අපේ ජීවිතය ගැන අපි නොදැන හිටිය දෙයක්, අපිට සැඟවිලා තිබුන දෙයක් අපිට කවදාවත් හිතාගන්නවත් බැරි දෙයක් අපි දැනගත්ත. අපේ ජීවිතය කලින් අපි ගතකරපු විදිහට ම අපි ගතකරගෙන යයිද? ජීවත් වෙන පිළිවෙල වෙනස් වෙයිද? නැද්ද? දැන් තම තමන් ගැන තම තමන්ම කල්පනා කරල බලන්න.
අපි මහ පොළවෙ පස් වගේ විශාල මිනිස්සු ප්‍රමාණයටද අයිති, නිය සිලේ පස්ටික වගේ ඒ ස්වල්ප දෙනාටද අයිති කියල තමන් තමන් ගැන කල්පනා කරල බලන්න.


අපි මේ ධර්මය අදහාගන්න බැරි කෙනාට මේ ධර්ම මාරගයේ පිහිටක් පිළිසරණක් ලබාගන්න බෑ. ඇයි එයා ප්‍රමාදයට වැටෙනව. එයා ප්‍රමාදයට වැටිල කල්පනා කරනව, "මම පින් කරගෙන සුගතියේ ගිහිල්ල එහෙදි අවබෝධකරගන්ට ඕනැ" කියල.


එයා සිහිකරන්නෙ නෑ "මම කොයි මොහොතේ මැරෙයිද දන්නෙ නෑ. මැරුනට පස්සෙ මට ඉපදෙන්න තියෙන්නෙ කොයි වගේ තැනැක්ද" කියල අපිට හිතාගන්න බෑ. ඇයි? භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මහ පොළවේ පස් වගේ විශාල මිනිස්සු ප්‍රමාණයක් තිරිසන් සත්තු අතර ඉපදෙනව. ඒ ධර්මය අදහාගත් කෙනා ඒකට බය වෙනව.


ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ ධර්මය බලවත් සේ අදහාගැනීමට මහත් වූ භාග්‍යය සියලු දෙනාටම උදාවේවා කියල අපි ආශිර්වාද කරනව.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!


No comments:

Post a Comment