Saturday, December 25, 2010

ජීවිතයට ඇති එකම පිළිසරණ තිසරණයයි.

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් නොගත් කෙනා මොන දේ කළත් ඒකෙන් කුසල් දියුණු කරන්න බැරුව යනවා. ඒ හැම එකක් මුල් කරන් කුසලයේ වේශයෙන් අකුසල් දියුණු කරගෙන යනවා.


ඒ වගේ භයානක ස්වභාවයක් තමයි තියෙන්නෙ ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් නොගත්ත කෙනාට. ඒ ජීවිතයේ ඇත්ත ස්වභාවය තමයි භාග්‍යවතුන් වහන්සේ අපට දුක්කාර්ය සත්‍යය යටතේ කියාදෙන්නෙ. දුක්ක සමුදය ආර්ය සත්‍ය යටතෙ ඒ අපට කියාදෙන්නෙ ජීවිතයෙ ඇත්ත ස්වභාවය.


ඉතිං අපි ආර්ය සත්‍යය ඉගෙන ගෙන ඒ අපේ ජීවිතය තුලයි මේ ආර්ය සත්‍යය තියෙන්නෙ කියල කල්පනා කළොත් දුක්ක සත්‍යය අපේ ජීවිතයේ තියෙන එකක් ඒක අපි ඒ විධියට කල්පනා කළොත් අපේ ජීවිතයේ ඇත්ත තේරුම් ගන්න එසේ තේරුම් ගැනීමෙන්ම අපේ ජීවිතයේ අකුසල් දුරුවෙන්න පටන් ගන්නවා. කුසල් වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කළයුත්තෙ ආන්න ඒක.


යම් කෙනෙක් මේ විධියට ඒ ධර්මයට අනුව කල්පනා කළොත් එයාට තේරේවි “මම අසරණ කෙනෙක්“ කියල. ඒ තමයි ලෙඩවීම ඉදිරියේ අපි අසරණයි. වයසට යාම ඉදිරියේ අපි අසරණයි කියල තේරෙයි. මරණයට පත්වීම ඉදිරියේ අපි අසරණයි කියල තේරෙයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරියේ අපි අසරණයි කියල තේරෙයි. අප්‍රියයන් හා එක්වීම ඉදිරියේ අපි අසරණයි. ආයි ඉපදෙන්න වුණොත් ඒ ඉපදීම ඉදිරියේ අපි අසරණයි.
කල්පනා කරල බලන්න ඉපදීමට සිද්ධ වුනොත් එහෙම අපි කොහේ ඉපදේද කියල. ඉපදෙන්න තියෙන තැන් ගැන හිතල බලන්න. එතකොට අපිට අසරණ බවක් නෙවෙයිද තියෙන්නෙ. කාටහරි නරක තැනක ඉපදෙන විධියට හිත සකස් වෙලා තිබුනොත් එයාට පුලුවන්ද ඒනකන් ගැලවෙන්න. කාටවත් ඇවිල්ල පුලුවන්ද කියන්න හා මම ඔයාව ගලවගන්නම් කියල. කාටවත් කියන්න බෑ එතකොට එයා අසරණ වෙලා ඉවරයි.
යම් කලක අපේ අම්ම තාත්තා මැරිල යනවා. ප්‍රිය අයගෙන් අපට වෙන් වෙන්න වෙනවා. කාටත් පුලුවන්ද අපව වලක්ව ගන්න. අපි වයසට යනවා. අබල දුබල වෙලා යනවා ශරීරය. එදාට අපිට පුලුවන්ද උසුල ගන්න. එදාට අසරණයි. ඒ නිසා ඒ දුක ඉදිරියේ තම තමාගේ ස්වභාවය තේරුම් ගන්න. දුක ඉදිරියේ අපි අසරණයි. මේක තේරුම් නොගන්නාතාක් අකුසල් දුරුවෙන්න පටන් ගන්නෙ නෑ. කුසල් දියුණු වෙන්න  පටන් ගන්නෙ නෑ.


කුසලය විධියට අකුසලය වැඩිල යනවා. කුසලය විධියට අකුසලය කියන්නෙ ආඩම්බරය මාන්නය වැඩිල යනවා. ඒ ආඩම්බරය මාන්නය වැඩිල යන ‍ෙකනාගෙ ඊට පස්සෙ කීකරුකම, නිහතමානීකම ආදී දේ පිහිටන්නෙ නෑ. එකට එක කරන ගතිය ඇති වෙනවා. කුහක කම චාටුබස් කියන එක, ඒවා ඔක්කොම ඇති වෙනවා ඊට පස්සෙ. ඒ නිසා හෙ‍ාඳට කල්පනා කරන්න ඒ ආර්ය සත්‍යය ඉගෙනගෙන අපේ ජීවිතය ගැනම බලන්න කල්පනා කරල. මේක අමාරු දෙයක් නෙවෙයි අපි ටික ටික පුරුදු වුනොත් එහෙම.


ඒ නිසා අපි ආර්ය සත්‍යය හෙ‍ාඳට විමසන්න ඕන. තමාගේ ජීවිතය ලෙඩවෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක ඉක්මවල නෑ කියල. නොයෙකුත් ආකාරයේ ලෙඩරෝග අපට වැළ‍ඳෙනවා. අපි ඒ ලෙඩරෝග හැදෙන ස්වභාවය ඉක්මවල නෑ. තනි තනියෙන් තම තමා හිතන්න. මොහෙ‍ාතින් මොහොත වයසට යනව අපි දන්නෙම නෑ.


කලක් ගිහිල්ල බලපුවාම දැන් තියෙන රූපය නෙවෙයි. වෙනස් වෙලා ගිහිල්ල. අබල දුබල වෙලා ගිහිල්ල. ඒක හිතන්න. තමාගේ ජීවිතය ගැන හිතන්න. බහුල වශයෙන් කල්පනා කරන්න. ඊළඟට මරණයට පත්වෙන ස්වභාවය. ඒක වලක්වන්න බෑ. කොයි මොහොතේ මොනවා වෙලා මැරෙයිද දන්නෙ නෑ.


ඉතින් මෙන්න මේ කාරණා යමෙක් කල්පනා කරනවා නම් එයා ටිකෙන් ටික නිහඬ කෙනෙක් බවට පත්වෙනවා. තැන්පත් කෙනෙක් බවට පත්වෙනවා. එයාගේ කලබලකාරි ගතිය අඩුවෙනවා. එයාගෙ කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා සියල්ල සංවර වෙන්න පටන් ගන්නවා. එපමණකින්ම එයා කුසල් වලට ඇවිල්ලනෙ. එපමණකින්ම එයාගෙ අකුසල් බැහැර වෙන්න පටන් අරගෙනනෙ.


බලන්න මේ ආර්ය සත්‍යයෙ එක කරුණක් කල්පනා කෙරුමෙන් කොයිතරම් ලාබයක් අපට අත්කරගන්න පුලුවන්ද කියල. ඉතින් මේ ධර්මය අත්භූත දෙයක් නෙවෙයි. ප්‍රායෝගිකව කලහැකි දෙයක් නිසයි නිතර කියන්නෙ. ආර්ය සත්‍යය අපි ඉගෙන ගත්තොත් ඒ ඉගෙන ගත්ත ආර්ය සත්‍යය අපේ ජීවිතය තුල ක්‍රියාත්මක වෙන විධිය කල්පනා කරන්න.


වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම මේ දේවල් ගැන කල්පනාවට ගන්න. ආන්න එතකොට ටික ටික ටික තමන්ට තේරේවි මේ දුක ඉදිරියේ මට පිළිසරණක් නෑ නේද කියල.


එදාට එයාට තේරෙයි බුදුරජාණන් වහන්සේ මේ සියලු දුකින් නිදහස් වුණා නේද කියල. එදාට එයාට තේරෙයි මේ ධර්මය ඒකාන්තයෙන්ම දුකින් නිදහස්වීම පිණිස පවතින දෙයක්  නේද කියල. එදාට එයාට තේරෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්  මේ දුකින් නිදහස් වීම පිණිස කටයුතු කරන අය නේද කියල.


ඒ තමාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් ගත්ත කෙනා තෙරුවන් කෙරෙහි පහදීවි. එයා තේරුම් ගනීවි පිළිගනීවි මට බුදු රජාණන් වහන්සේ හැර වෙන සරණක් නෑ නේද කියල. එයාට තේරේවි මේ ධර්මය හැර මට වෙන සරණක් නෑ කියල. එයාට තේරෙනවා සංඝරත්නය හැර මට වෙන සරණක් නෑ කියල. එ‍යා පිළිගන්නවා තිසරණය හැර වෙන සරණක් මේ ලෝකෙ කොතැනකවත් මට නෑ කියල.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!




උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment