Saturday, December 11, 2010

ජීවිතය අර්ථවත් කරගනිමු

***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පින්වත්නි, අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපකාර වන්නේ සුවපහසු ජීවිතයක් ඇතිකරගන්ටයි.
අපි මේ ජීවිතය සුවපත්භාවයට පත්කරගැනීම පිණිස තමයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදුකරගත යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොතෙක් ඉගෙන ගත්තත්, ඒ ධර්මය පුරුදුකරගන්ට අපි අදක්ෂ වුනොත්, ඒ ධර්මයෙන් ලැබිය හැකි, ලැබිය යුතු සුවපත්බව අපිට ලබාගන්ට බැරිව යනව.


බලන්ට අපේ ජීවිතය දිහා ආපස්සට හැරිල. මෙතෙක් ආපු ගමනේ අපි විටක හඬල වැළපිලා ඇති, විටෙක හිනාවෙලා සතුටුවෙලා කාලෙ ගතවෙලා ඇති. වෙලාවකට බයේ, වෙලාවකට පසුතැවෙමින් මේ ආදී විදිහට කාලය ගතකරල තියෙන්නෙ. එතකොට අපි යමකින් සතුටුවෙන කොට ඒක නිසා ම අපිට දුක් පීඩා ඇතිවෙලා ඇති.


බලන්න ඒ විදිහට අතීතය දිහා කල්පනා කරල. අපේ ජීවිතේ ඒවගේ ස්වභාවයක් නේද තිබ්බෙ? එතකොට අපි ඒ විදිහට ම අපේ අනාගතයත් ගතකලොත්, මේ ජීවිතය අර්ථවත් විදිහට ගතකලා වෙන්නෙ නෑ නේද? කණගාටුවෙනව, අඬනව, වැළපෙනව, ආයෙ හිනැහෙනව මේ ආදී වශයෙන් අපි ගතකරන ජීවිතය අර්ථවත් වෙන්නෙ නෑ.


ඒක වෙහෙසකර දෙයක්, සෑහීමකට පත්වෙන්ට බැරි දෙයක්, සතුටුවෙන්ට බෑ, වෙහෙසක් විතරයි, විඩාවක් විතරයි. ඒ ජීවිතේ තෘප්තියක් නෑ, හිස් දෙයක් කලා වගේ. ආපස්ස හැරිල බලපුවා ම එකතුවෙච්ච දෙයක් නෑ. වෙහෙසුනා වෙහෙසුනා, ඇඬුව, සතුටුවුනා, ඒ සතුටු වෙච්ච දේ නිසා ම අඬන්ට වෙනව. මේ වගේ ස්වභාවයක් තමයි ජීවිතවල තියෙන්නෙ.


ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තොත්, මේ ලෝකයේ වාසය කරන කාලය තුළ අපිට දුක් පීඩා බැහැරකරගෙන පහසු ජීවිතයක් ඇතිකරගන්ට පුළුවන්කම තියෙනව. ඒ පහසු ජීවිතය ඇතිකරගන්ට නම් මේ ලෝකයේ ස්වභාවය අපි දැනගන්ට ඕනැ. ඒ වගේම ඒ ලෝකයේ ස්වභාවයට මූණ දෙන්ට පුළුවන් හැකියාව අපි ඇතිකරගන්ට ඕනැ.


එතකොට මේ ලෝකෙ ස්වභාවය දැනගන්ට, මේ ලෝකේ ස්වභාවයට මූණ දෙන්ට පුළුවන් හැකියාවෙන් යුක්ත කෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒ බුදුරජාණන් වහන්සේ තමයි, මේ ලෝකේ ස්වභාවය අවබෝධකරගෙන අපිට කියා දෙන්නෙ. ඊළඟට ඒ ලෝකයේ ස්වභාවයට මූණ දෙන ආකාරය කියා දෙන්නෙත් බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ කියා දෙන ආකාරය ඉගෙනගෙන, කියාදෙන ආකාරයට මූණ දෙනවනම්, එයා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්.
අන්න එයාට පුළුවන්කම තියෙනවා මේ ජාති, ජරා, මරණ, දුක්ඛ, දොමනස්ස කියන සියලු දුකින් නිදහස්වෙන්ට. එහෙම නැත්නම් අපි වෙලාවකට අඬමින්, වෙලාවකට හිනා වෙමින් අර්ථයක් නැතිව ගතකරන ජීවිතේ, අර්ථයක් නැතුව ම අවසන් කරගන්නව. ආපහු සැරයක් ඉපදෙන්ට වෙනව. ආයෙත් ජරා, මරණ, දුක්, දොම්නස් වලට මූණ දෙන්ට සිද්ධවෙනව.


නමුත් අපි අර්ථවත් විදිහට මේ ජීවිතේ ගතකරන්ට පුරුදුවුනොත්, මේ ජරා, මරණ, දුක්, දොම්නස් වලින් අපිට නිදහස්වෙන්ට පුළුවන්කමක් තියෙනව.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!




උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment